වතු කම්කරු වැටුප දාහේ අවසන් තීරණයට අවසාන වරට සතියක් කල් දෙයි.
2021 අයවැය යෝජනා වලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට තව සතියක කාලයක් ලබාදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (21) තීරණය කළේය.
මෙම වැටුප් වැඩි කිරීම පිළිබඳ වතු කම්කරු නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේ දි දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බලා මෙම තීරණයට අමාත්‍යවරයා එළඹියේය.
විශේෂයෙන් මෙහිදී වතු කම්කරුවෝ කම්කරු නායකයන් පෙන්වා දුන්නේ වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවයි .එහිදී හාම්පුතුන්ගේ සම්මේලනය අදහස වන්නේ වතු කම්කරුවන් දෛනිකව අතිරෙකව දළු කිලෝ 2 ක ප්‍රමානයක් ලබා දිය යුතු බවයි. එසේම මෙම සේවකයන්ට සේවය අවසානය පාරිතෝෂිත දීමනා ගෙවීමේදී ඔවුන් ප්‍රමාණවත් තරම් දෛනික රාජකාරි කර නැති බවයි .ඒ අනුව සෑම සේවකයෙක්ම වසරකට දින 180ක් අනිවාර්ය සේවයේ යෙදිය යුතු බවට හාම්පුතුන් විසින් මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය. මෙහි දි අමාත්‍යවරයා යොජනා කළේ දිනකට අතිරේක දළු කිලෝ එකක් දීම සහ දින 180 යෝජනාව පිළිගත හැකි බවයි.එසේම කූඩ බරට හා කම්හල් අපතේ යෑම් වලට යැයි කියා වතු සේවකයන් නෙලන දළු අඩු කිරීම සාධාරණ නැති බව කම්කරු නියෝජිතයෝ පෙන්වා දුන්හ.
මේ සියලු කරුණු සලකා බලා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්වයක් යටතේ වුව ද වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට වන රජයේ තීන්දුව මොනම ආකාරයකින් හෝ වෙනස් විය නොහැකි බවයි. එසේම රුපියල් දහසේ අවම වැටුප ලබාදීමට නොහැකි යම්කිසි සමාගමක් වේ නම් එම වතු නැවත රජයට ලබා දෙන ලෙස ද ඇමැතිවරයා මෙහිදී දැනුම් දුන්නේය. ඒ අනුව රජය මගින් හෝ වෙනත් කළමනාකරණ සමාගමක් මගින් හෝ එම වතු පවත්වා ගෙන යෑමට රජය සූදානම් බව මෙහිදී ඇමැතිවරයා ප්‍රකශ කර සිටියේය .මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ්, හාම්පුතුන්හේ සම්මේලනයේ අධ්‍යක්ෂක ජනරාල් කණිෂ්ක වීරසිිංහ ඇතුළු වතු කම්කරු නායකයන් සහ වතු සමාගම් පාලකයන් රැසක් ද අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චනද්‍රකීර්ති මහතා ද අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන් කෞෂල්‍ය මහතා ද එක් වූහ.