පුවත් සහ සිදුවීම්

ලෝක බැංකුවේ නියෝජිතවරු හමුවීම

වර්තමානයේ මුළු ලෝකයම මුහුණ දී තිබෙන කොවිඩ් වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත චියෝ කන්ඩා (Chiyo Kanda) මහත්මිය සිය ප්‍රශංසාව පළකරයි. එසේම ඉදිරියේදී ඇතිවන තත්වයන් හමුවේ වුවද මතු වන අර්බුදයන්ට මුහුණ ඒවාට විසදුම් දී රටේ ආර්ථිකය පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකාවට ශක්තිය ඇතැයි තමන් විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකාවේ ලෝක බැංකු නිත්‍ය නියෝජිතවරිය ප්‍රකාශ කළේ, පසුගිය දා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ පැවති සාකව්ඡාවකදීය. කම්කරු අමාත්‍යංශයේ පැවති මෙම සාකව්ඡාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වොස් මහතා ද ( Faris Hafad- Zervos) එහි ජේෂ්ඨ ආර්ථික විද්‍යාඥ (සමාජ ආරක්ෂණ හා රැකියා) තෝමස් වොර්කර් මහතා ද අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද එක් වුහ.

 

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ කම්කරු හා වැඩකරන පන්තියට බලපා තිබෙන ආකාරය පිළිබඳව, ඒ වගේම මේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට එය බලපා ඇති අන්දම පිළිබඳවත් එහි දී දීර්ඝ වශයෙන් සාකව්ඡා කෙරුණා.

 

මෙහිදී අදහස් දැක්වූ කම්කරුවා මත නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දුන්නේ මේ තත්ත්වය හමුවෙ වුවද රජය රජයේ සේවකයන්ට පුර්ණ වැටුප් ලබා දීමේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට ද එම පුර්ණ වැටුප් ලබාදීමට ද සේව්‍ය පක්ෂය සමඟ සාමුහිකව කටයුතු කරන බවය.

 

පෞද්ගලික අංශයේ සේවකයන්ට බලපා ඇති ප්‍රශ්න සහ ඒවාට විසදුම් සෙවීම සඳහා හාම්පුතුන්, වෘත්තීය සමිති හා කම්කරු දෙපාර්තමේන්තුව එකතුව පිහිටුවාගත් ත්‍රෛපාක්ෂික කොවිඩ් කාර්ය සාධක බලකාය නිරතුරුවම රැස් වී එම ප්‍රශ්න, අර්බුධ සහ ගැටළු වලට විසදුම් සොයන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

විශේෂයෙන් විදේශීය රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් හතලිස් අට දහසක් පමණ මෙරටට පැමිණීමට බලාපොරොත්තුව සිටින හෙයින්, ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ඇති අභියෝග සහ ප්‍රශ්න පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී ලෝක බැංකු නියෝජිතයන් දැනුවත් කළේය. එම පිරිස් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සංවිධානය කර තිබූ අවස්ථාවක කොවිඩ් දෙවන රැල්ල මතු වූ බවත්, එම නිසා රජය පිහිටුවා ඇති කොවිඩ් කාර්ය සාධක බලකාය සමඟ සාකව්ඡා කර ඔවුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

මෙහිදී අදහස් දැක් වූ ලෝක බැංකු නියෝජිතවරු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සඳහාද විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම සුදුසු බව ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබීම ඉතාමත් සාධනීය පියවරයක් බවය. ඒ පිලිබඳ තම සතුට ප්‍රකාශ කරන බව ද ඔවුහු පැවසුහ. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන එම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ඕනෑම අවස්ථාවක ලබාදීමට ලෝක බැංකුව සුදානම් බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ (සමාජ ආරක්ෂණ හා රැකියා) තෝමස් වොර්කර් මෙහිදී පැවසීය.