පුවත් සහ සිදුවීම්

55 හෝ 60 විශ්‍රාම යෑම සේවක මනාපයට,

පසුගිය අයවැය යෝජනා වලට අනුව පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවරුදු හැට දක්වා දීර්ඝ කරන ලද්දේ කම්කරු නායකයන් දිගු කලක පටන් කරන ලද ඉල්ලීම් වලට අනුව බවත්, නමුත් යම් සේවකයෙකුට වයස අවරුදු 55 දී සිය සේවය අවසන් කර EPF හා ETF තැන්පත් ලබා ගැනීමට අවශ්‍ය නම් හෝ අවරුදු 60 දක්වාම සේවය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ද සේවකයාට වරණීය අයිතිය ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) කම්කරු අමාත්‍යංශයේ පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදීය.

 

වෘත්තිය සමිති නායකයන් සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම රැස්වීමේ ඉදිරිපත් වූ අදහස් වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ,

 

මෙම තීන්දු ක්‍රියාත්මක කිරීමේදී වෘත්තීය සමිති නායකයන් විසින් සිය සාමාජිකයන්ට අවශ්‍ය නම් වයස අවරුදු 55න් විශ්‍රාම යාමට ඇති අයිතිය තහවුරු කළ යුතු යන මතය පිලිගත යුතු බවද, එසේ පනස් පහෙන් විශ්‍රාම යන්නේ නම් ඔවුන්ට එසේ විශ්‍රාම යන අවස්ථාවේ තමන්ගේ අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබා දීම සාදාරණ බවය. එසේම අවරුදු 60 දක්වා සේවයේ යෙදීමට කැමැත්ත පළ කරන්නේ නම් එම සේවකයන්ට වයස අවරුදු 60න් විශ්‍රාම යන අවස්ථාවේදී අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එසේම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 ලෙස තීරණය වූ කාලෙට වඩා අද ආයු අපේක්ෂාව වැඩි වී ඇති නිසා ජාතික විශ්‍රාම ගැන්වීමේ වයස ද ඊට සාපේක්ෂව ඉහළ දැමිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

මේ පිළිබඳව කරුණු දැක්වූ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් කියා සිටියේ ප්‍රතිපත්තියක් වශයෙන් මෙම යෝජනාව පිළි ගත හැකි වුණත්,සමහර කාර්මික ක්ෂේත්‍රයන්හි වයස අවරුදු 55න් පසු සේවකයන් රඳවා තබාගැනීමේ ප්‍රයෝගික ප්‍රශ්න හා ගැටළු මතු වන බවය. එසේම මෙම වයස අවරුදු පනස් පහ ඉක්ම වූ අයගෙන් ලබාගත හැකි නිෂ්පාදන හා සේවා ඵලදායිතාවය පවතින්නේ අඩු අගයක බැවින් එම සේවකයන් වයස 60 දක්වා සේවයේ රදවා ගැනීම සම්බන්ධව සේව්‍ය පාර්ශවයන්ට අර්බුද පැන නගින බවය.එම නිසා එසේ ජාතික විශ්‍රාම ගැන්වීමේ වයස හැට දක්වා දීර්ඝ කරන්නේ නම් දැනට සාමුහික ගිවිසුම් වල ඇති අන්තර්ගත කරුණු ද ඇතුලත් කර අදාල පනත් සංශෝධනය කිරීමේ වැදගත්කම සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

 

මේ පිළිබඳ යම් නිර්නායකයන් අදාල පනත් සංශෝදනයන්ට ඇතුලත් කිරීමට අවශ්‍ය නම් වෘත්තීය සමිති නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සාකව්ඡා කර එම යෝජනා තමන් වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.ඒ අනුව කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එකී සාකව්ඡා කමිටුව කැඳවා එම තීන්දු තීරණ අරගෙන තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට මෙහිදී උපදෙස් දුන්නේය. ඒ අනුව ඉදිරියේ දී මෙම මේ පනත් සංශෝධනයට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම සිදුකරන බව අමාත්‍යවරයා ජාතික කම්කරු උපදේශක සභා නියෝජිතයන්ට පැවසීය.

 

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් නිතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරමින් ලෙස්ලි දේවේන්ද්‍ර, ඇන්ටන් මාකස්, සිල්වෙස්ටර් ජයකොඩි, වසන්ත සමරසිංහ, ලීනස් ජයතිලක ඇතුළු වෘත්තීය සමිති නායකයන් සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් ද එක් වුහ.

උපුල් ජනක ජයසිංහ
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්
(0773112576)