පුවත් සහ සිදුවීම්

බේරුම කල් අරින බේරුම්කරුවන්ට බේරුමක් නැති වෙයි

කම්කරු ආරවුල්වලට අදාල  බේරුම්කරණ ක්‍රියාවලිය  පිළිබඳ ලිපිගොනු දීර්ඝ කාලයක් තමන්  සන්තකයේ තබාගෙන සිටිමින් බේරුම්කරණ ක්‍රියාවලිය ප්‍රමාද කරන බේරුම්කරුවන්ට  එරෙහිව පොදු දේපල  පනත යටතේ නඩු පැවරීමට හැකි වන ආකාරයට 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කම්කරු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේදී පසුගියදා පැවැති උත්සවයක් අමතමිනි.

 

කම්කරු ආරවුල් බේරුම් කරණය සදහා ක්‍රියා කරන බේරුම්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී සිය දැඩි අප්‍රසාදය පළ කර සිටීයේය.

 

කම්කරුවන් සහ හාම්පුතුන් අතර ඇතිවන විවිධ ගැටළු සහගත තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා මෙම බේරුම්කරණ ක්‍රියාවලිය උපයෝගී කරගනු ලබන බවත්, බේරුම්කරණ ක්‍රියාවලියෙන් වැඩ කරන ජනතාවට සාධාරණයක්  ඉටුවීමට නම් එම බේරුම්කරණ කටයුතු කඩිනමින් අවසන් කළ යුතුව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සමහර බේරුම්කරුවන් මෙම බේරුම්කරණ ක්‍රියාවලියට අදාළ ලිපිගොනු  ගෙන ගොස් පුද්ගලිකව දීර්ඝ කාලයක් තමන්ගේ භාරයේ තබා ගනිමින් එම කටයුතු අවසන් නොකිරීම නිසා කම්කරු ජනතාවට විශාල අසාධාරණයක් සහ අගතියක් වී ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

 

සමහර බේරුම්කරුවන් බේරුම්කරණ ක්‍රියාවලිය ප්‍රමාද කරන අතර තවත් සමහර බේරුම්කරුවන් බේරුම්කරණයට අදාල අවසාන තීන්දුව ලබාදීම ප්‍රමාද කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply