පුවත් සහ සිදුවීම්

විගමනික ශ්‍රමිකයන් සදහා වන පළමු විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය නිකුත් කෙරේ

විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ප්‍රදානය කරනු ලැබීය.

 

පළමු ආනයන බලපත්‍රය වාහනය ගෙන්වා ගත් විදේශ ගත ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිතයා වන දහම් පෙරේරා වෙත නිකුත් කෙරුණි.

 

මේ වන විට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවත්, විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝ දෙනකු අඛණ්ඩ ව විමසීම් කරන බවත් අමාත්‍යවරයා එහි දී පවසා සිටියේ ය.

 

විදෙස් රටක ජීවත්වන, රැකියාව කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරන ඕනෑ ම ශ්‍රී ලාංකිකයකු මූලික සුදුසුකම සපුරන අතර, මැයි මාසයේ 01 වැනිදා සිට දෙසැම්බර් 31 දා දක්වා කාලය තුළ ප්‍රේෂණය කරන ඩොලර් විසි දහසක හෝ ඊට වැඩි වටිනාකමක් සහිත මුදල විද්‍යුත් මෝටර් රථ සදහාත්, මැයි මස 01 වැනිදා සිට 2023 වර්ෂයේ මැයි මාසය දක්වා ප්‍රේෂණය කරන ඩොලර් තුන්දහසක් හෝ ඊට වැඩි මුදල විද්‍යුත් යතුරුපැදි ගෙන්වීම සදහාත් වලංගු වේ.

 

මෙරටට යොමු කරන ලද ප්‍රේෂණ නීත්‍යනුකූල බැංකු පද්ධතිය හෝ නියෝජිතයකු වෙත යොමු කර තිබීමත්,  මුදලින් 50%ක් රුපියල් බවට පරිවර්තනය වී තිබීමත් අනිවාර්යය බවත් පැවැසූ ඇමැතිවරයා මෙසේ යොමු කරන හෝ යොමු කළ මුදලින් හරි අඩක මුදලකට යතුරු පැදිය හෝ මෝටර් රථය ගෙන්වා ගත හැකි බව ද පැවැසීය.

 

කම්කරු අමාත්‍යංශයේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවිය මගින් අයදුම්පත හා තොරතුරු බාගත කර ගත හැකි බවත්,  විදෙස් රටක සේවය කරන බව, මෙරටට මුදල් එවූ බව සහ වාහනය ගෙන්වීමට අදාළ ලියකියවිලි සමග ඉදිරිපත් කිරීමෙන් බලපත්‍රය ගෙන්වා ගැනීමට අදාළ කටයුතු ඉටුකර ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

 

මෙලෙස ගෙන්වන වාහනය ලියාපදිංචියෙන් වසර දෙකක් ගතවන තුරු තුන්වැනි පාර්ශ්වයකට පැවැරිය නොහැකි අතර සීඅයිඑෆ් වටිනාකමෙන් සියයට දහයක වටිනාකමට සරිලන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් අතිරේක ව ගෙවීමෙන් අවශ්‍ය නම් වසර දෙකකට පෙර වාහනය පැවරීමට පහසුකම් සපයා ඇති බව ද ඇමැතිවරයා මෙහි දී පවසා සිටියේ ය.

 

මෙම අවස්ථාව සදහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතාද එක්ව සිටියේය.

Leave a Reply