නැරබීමට ඇති ස්ථාන

සංචාරක බංගලාවේ සිට නැරබීය හැකි ස්ථාන

 

ස්ථාන

සංචාරක බංගලාවේ සිට දුර

(කි.මී.)

දීඝවාපිය පූජනීය ප්‍රදේශය 19
බුද්ධංගල 08
රාජගල 28
කුඩිම්බිගල 110
ගල්ඔය 20
අරුගම් බේ, පොතුවිල්, පැනමාව 80
ලාහුගල 80
මාදුරුඔය 85

දීඝවාපිය පූජනීය ප්‍රදේශය

සංචාරක බංගලාවේ සිට දුර – 19 කි.ම්

වංශකතාවන්හී දිඝන්ඛ් හෙවත් දිඝානක ලෙසින් හදුන්වා ඇති දීඝවාපිය පුදබිම ක්‍රි.පූ. 3 වැනි සියවස දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුතු බෞද්ධ සිද්ධස්ථානයක් වේ. මහාවංශයට අනූව දීඝවාපිය වෙත බුදුන් වහන්සේ වැඩි බවත් උන්වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටි ස්ථානයේ පසුකාලීනව චෛත්‍යක් ඉදිවූ බවත් සදහන් වේ

බුද්ධංගල ආරාමය

සංචාරක බංගලාවේ සිට දුර – 8 කි.ම්

අම්පාර නගරයට ආසන්නව අක්කර 1280 ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වසර 2300 කට වඩා පැරණි ඉතිහාසයක් සහිත පුද බිමකි. පූජනීය නටඹුන් පිහිටි භූමියෙහි සිට උතුර දෙසට පැතිර යන මිටි ගල් තලා රැස මෙහි එකම කොටස් ලෙස සැළකිය හැකිය. වැහි සමයේ තැන තැන දිය ආරවල්, ගල් කෙම්, පිරී ඉතිරන රමණීය‍ නෙත් සිත් අදනා මෙම භූමිය අක්කර දහස් ගණනක් ඈතට ගමන් කරන බිහිසුණු වනය වේ.

සිය ගණන් වල් ඇතුන් හා අලින් නිබදව දැක්ය හැකි වුවත් ඔවුන්ගෙන් කිසිවෙකුට හානියක් නොසිදුවීම ඉමහත් අසිරියකි.

සේනාසනයෙහි වූ අඩි 500 ක් පමණ උස්වූ ගල් මස්තකයක ඉදි කරන ලද ස්ථූපයෙහි, ගෞතම බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක වහන්සේලා දෙනම වූ සැරියුත් රහතන් වහන්සේගේ හා මුගලන් රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට තිබේ. මිහිදු මහරහතන් වහන්සේ විසින් දඹදිව විදිසාවෙන් වැඩම කරවූ මෙම සර්වඥධාතූන් වහන්සේලා සහ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා, සංචා ස්ථූපයේ අනුරුවකට අනූව සැකසූ දඹ රන් කරඩුවක තැම්පත් කර එවක රුහුණට තිබූ එකම වටදාගෙය වූ මෙහිලා නිදන් කර තිබේ.

රාජගල

සංචාරක බංගලාවේ සිට දුර – කි.මී 28

රජගල, හෝ රජගලතැන්න/රාස්සගල යනු ඝන වනාන්තරයකින් වැසී ගිය මුහුදු මට්ටමේ සිට අඩි 1038 (316 මීටර) පමණ උස්වූ, එෙෙතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ පෞරාණික නටඹුන් සහිත කඳු වැටියක් වේ. පැරණි නටඹුන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අක්කර 1080ක් පමණ පුරා විහිදී ගිය මෙම පුරාවිද්‍යා භූමිය අනුරාධපුරය මිහින්තලා පුරාවිද්‍යා භූමියට පමණක් දෙවන වන බැව් පැවසේ.

මෙම ස්ථානයෙහි මුල් ඉතිහාසය නිශ්චිත නොවූවත්, ක්‍රි.පූ. 1 වන සියවසට අයත් ශිලා ලිපි හමුවීම නිසා එම සමයේ පමණ සිට මෙහි භික්ෂූන් වහන්සේලා වැඩවසන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුදු, මෙහි ඉතිහාසය මෙරට බුදුධහමේ පූර්ව අවධියට විහිදෙන බැව් ශිලා ලිපියකින් ප්‍රකාශ වේ. එයට අනූව ලංකාද්වීපයට බුදුධහම රැගෙන පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ රජගලතැන්න විහාරයට වැඩි බව සඳහන් වේ.

කුඩුම්බිගල ආරාමය

සංචාරක බංගලාවේ සිට දුර – කි.මී. 110

කුඩුම්බිගල ආරාණ්‍යයපානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම ගමේ පිහිටා තිබේ. පානම සිට රුහුණු වනෝද්‍යානයට ගමන් කරන මාර්ගයේ මෙම ස්ථානය පිහිටා තිබේ. විශාල ගල්පර හා ගල්තලා වලින් නිර්මිත මෙම ප්‍රදේශය ඝන කැලෑවක් මැද පිහිටා තිබේ.

විශාල ලෙස කටාරම් කෙටූ ගල්ලෙන් ඇති අතර සමහරෙක ක්‍රි.පූ. යුගයට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපි දැකිය හැකි ය. සමහර ගල්තලා මත ගොඩනැගිලිවල අවශේෂයන් ද මෙහි පවතින විශාල ගල් පර්වතය වන කුඩුම්බිගල මත ශේෂ වූ දාගැබ් දෙකක අවශේෂයන් ද පවතී.

ගල්ඔය

සංචාරක බංගලාවේ සිට දුර – 20 කි.ම්

සේනානායක සමුද්‍රයේ ජල පෝෂිත කලාපයක් ලෙස ස්ථාපනය කර ඇති ගල්ඔය ජාතික වනෝද්‍යානය වටා ඉඟිනියාගල , දෙගලවල, දානිගල, උල්හෙල යන කඳු වැටි පිහිටා ඇත. ගල් ඔය ජාතික වනෝද්‍යානයේ තිබෙන විශේෂත්වය වන්නේ සමස්ථ උද්‍යානයෙන් අක්කර 19,250ක් ම ගල් ඔය ජලාශය හෙවත් සේනානායක සමුද්‍රයට ජලාශයට අයත්වීමය. එබැවින් මෙය ජලාශ්‍රිත උද්‍යානයක් ලෙසටද හැඳින්විය හැක.

සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි 770,000 කි. අඩි 3600ක් දිගින් යුත් ජලාශ වේල්ල ඉඟිනියාගල කඳුවැටියට සම්බන්ධවෙයි. ජලාශය තුළ දර්ශණීය දූපත් තුනක් පිහිටා ඇත. ගල් ඔය වනෝද්‍යානයේ සැවනා තණබිම් වල ලක්ෂණ මෙන්ම වියළි කලාපීය වනාන්තර ලක්ෂණ ද දැකිය හැකි අතර වන සත්ව ඡායාරූපකරණයට ද ඉතා සුදුසු ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැක.

අරුගම්බේ, පොතුවිල්, පැනමා

සංචාරක බංගලාවේ සිට දුර – 80 කි.ම්

ආරුගම්බේ ශ්‍රීලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ, වියළි කලාපීය ඉන්දියන්සාගරය ආශ්‍රිත පිහිටා ඇති බොක්කක් වේ. සාම්ප්‍රදායිකව ධීවර කර්මාන්තය දේශීය ආර්ථිකය තුල ආධිපත්‍ය උසුලන අතර, මෑත වසර කිහිපය තුල සංචාරක කර්මාන්තය ප්‍රදේශයේ වේගයෙන් වර්ධනය වී ඇත.

අරුගම්බේ, අගනා දේශීය රළ මත ලිස්සා යෑමේ ස්ථානයක් වන අතර ලංකාවේ වඩාත් දක්ෂ රළ මත ලිස්සා යෑමේ තරඟකරුවන්ට නිවහනක් ද වී ඇත.

ලාහුගල

සංචාරක බංගලාවේ සිට දුර – 80 කි.ම්, පොතුවිල් සිට – 15 කි.ම්

මඟුල්මහා විහාරය, නීලගිරිසෑය, ලාහුගල කොට වෙහෙර, ලාහුගල කිරි වෙහෙර වැනි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සිද්ධස්ථාන හා නටඹුන් පිහිටා ඇති පෙදෙසකි.

මාදුරුඔය

සංචාරක බංගලාවේ සිට දුර – 85 කි.ම්

මාදුරුඔය ජාතික උද්‍යානය ලංකාවේ වැඩිම වන අලි ප‍්‍රමාණයක් වාසය කරන ජාතික උද්‍යානයක් වන අතර එය මහවැලි කලාපයේ ප‍්‍රධානම අලි සංචරණ මාර්ගයක් මත පිහිටා ඇත. විදේශීය වාරි ඉංජිනේරුවන් පවා පුදුමයට පත් කළ මාදුරුඔය ජලාශයේ ඓතිහාසික සොරොව්ව ඇතුළු සංචාරක ආකර්ශනය දිනාගත් බොහෝ ස්ථාන මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.