විශේෂ ක්‍රියාකාරකම්

කොවිඩ් 19 වසංගතය ආරම්භවීමත් සමගින් ප්‍රධානතම සමාජ කතිකාවත යාන්ත්‍රණය වන ජාතික කම්කරු උපදේශක සභාවේ අනුකමිටුවක් ලෙස ගරු අමාත්‍යතුමා මුලසුන දරන ත්‍රෛපාර්ශවීය කාර්යසාධන බලකායක් මාර්තු මස 10 වන දින ස්ථාපනය කරන ලදී. කාර්යසාධන බලකායේ කාර්යය වූයේ කොවිඩ් 19 මඟින් සේවකයන් සහ ආයතන වෙත ඇති වන බලපෑම අවම කිරීම පිණිස පූර්ව ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගැනීමය. ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවන්හි පවා කමිටුව නිරන්තරයෙන් රැස්වූ අතර පාර්ශවකරුවන් අතර වඩා යහපත් අවබෝධයක් ඇති කරලීමට එය සමත් විය.

 

2020 සැප්තැම්බර් මස දක්වා කමිටුව රැස්වීම් දහසයක් පවත්වන ලදී. විවිධ පාර්ශවකරුවන් අතර විශ්වාසය ගොඩ නැගීමට සහ යම් ගැටලුකාරී තත්ත්වයන් අර්බුද දක්වා උත්සන්න වීමට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙම කමිටුව බෙහෙවින් ඉවහල් විය. කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් වැඩ ලබාදීමට නොහැකි වූ සේවකයන්හට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්ය සාධන රැස්වීම්වලදී පහත දැක්වෙන එකඟතාවන්ට එළඹෙන ලදී.

  • කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වැඩ නවත්වනු ලැබූ ආයතනවල සේවකයන් රඳවා ගැනීම
  • සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ අවශ්‍යතා හේතුවෙන් සියලු සේවකයන් සේවයට කැඳවීමට නොහැකි අවස්ථාවන්හිදී, සියලු සේවකයන්ට සමානුපාතිකව වැඩ ලැබෙන බව සහතික කිරීම පිණිස වැඩ වාර ක්‍රමවේදයක් හෝ වෙනත් සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම.

 

2020 මැයි, ජූනි, ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසයන්හි පැවරීමට ප්‍රමාණවත් වැඩ නොමැතිවීම හේතුවෙන් සේවකයන් හට නිවසේ රැඳී සිටීමට සිදුවූ අවස්ථාවන්හිදී සේවකයන්ට අවසාන වශයෙන් ගෙවූ මුළු වැටුපේ ඇතුලත් මූලික වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14,500/= යන දෙකින් වඩා වැඩි මුදල ගෙවීම. මීට අදාළව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ දායක මුදල් ගෙවීම අවශ්‍ය වේ.