පුවත් සහ සිදුවීම්

ගරු කම්කරු අමාත්‍යතුමන්ගේ මැයි දින පණිවුඩය

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සහ ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාවය සලසා දීම කම්කරු අමාත්‍යාංශය සතු ප්‍රධාන මෙහෙවරකි. එකී මෙහෙවර කරා ගමන් කිරීමේ දී විවිධ ක්‍රියාකාරකම් හරහා කම්කරු ප්‍රජාවට ගතික සේවාවක් සැපයීමේ වගකීම අප අමාත්‍යාංශය දරන්නේ සියලු වැඩ කරන ජනතාව වෙනුවෙන් බව සතුටින් මතක් කරන්නෙමු.

 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව “පෞද්ගලික අංශයේ සේවක ආරක්ෂාව ඇති කිරීම සහ නිපුණ විදේශ රැකියා බලකායක් බිහි කිරීම” යන ක්ෂේත්‍රයන් යටතේ සඳහන් කර ඇති කාර්යයන් සහ සුවිශේෂී ප්‍රමුඛතා, තිරසාර සංවර්ධන ඉලක්ක සහ ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර ඇති ජාත්‍යන්තර කම්කරු සම්මුතීන්ට අනුකූලව අපගේ වැඩ කරන ජනතාව වෙනුවෙන් වැඩසටහන් සකස් කර ඇති අතර, ඔවුන් වෙත සියලු ප්‍රතිලාභ ලබාදීමට අප බැඳී සිටින්නෙමු. එමෙන්ම ගතානුගතික සහ සාම්ප්‍රදායික ඉලක්ක සහ විසැඳුම් වෙනුවට ප්‍රායෝගික, යථාර්ථවාදී වූ, සාමූහික සහ ශක්තිමක් වූ වැඩ පිළිවෙලක් ආරම්භ කල යුත්තෙමු.

 

රට තුළ පැවති කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වුවද, මේ වන විට පවතින ආර්ථික අර්බුදය හමුවේද රටතුළ සාමය පවත්වාගෙන යමින් රට ඉදිරියට ගෙන යාමට වැඩ කරන ජනතාව විසින් සිදු කරනු ලබන සේවය පිළිබඳව අප සිය ස්තුතිය පළ කරන අතර නවමු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම වෙනුවෙන් ලේ, දහඩිය, කඳුළු වගුරුවන මෙන්ම ශ්‍රමය, කාලය සහ මුදල් වැයකරන සියලු වැඩ කරන ජනතාව වෙත තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! යි ලොව පුරා මහත් අභිමානයෙන් සමරනු ලබන ජාත්‍යන්තර කම්කරු මැයි දිනයේ දී ප්‍රර්ථනා කරන්නෙමු.